ඉන්දියාව - එංගලන්තය Semi Final සටන අද

අවසන් සටනට යන්නේ ඉන්දියාවද? එංගලන්තයද? තීරණාත්මක දෙවැනි Semi Final සටන අද..

by Staff writer 10-11-2022 | 7:39 AM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර ඇඩිලේඩ්හිදී අද (10)පැවැත්වේ.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි අවසන් මහා තරගයට සුදුසකම් ලබන අනෙක් කණ්ඩායම තීරණ වන මෙම තරගය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එංගලන්ත කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ, ආබාධවලට ලක් වූ මාක් වුඩ් සහ ඩාවිඩ් මලාන් මේ වනවිට පූර්ණ ලෙස සුවය ලබා නොමැති බවය.

ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස යොදා ගන්නා ක්‍රීඩකයා රිශාබ් පාන්ට් හෝ දිනේෂ් කාර්තික් යන දෙදෙනාගෙන් කව්රුන් ද යන්න නිශ්චිතව සඳහන් කර නැත.

ප්‍රතිවාදී කණ්ඩායම සහ තණතිල්ල පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම ඒ පිළිබඳ අවසන් තීරණයට එළැඹෙනු ඇති.

එංගලන්තයට එරෙහිව අවසන් වරට පැවැති පන්දුවාර 20යි 20 තරගාවලි 4 ම ඉන්දියාව ජයගෙන තිබේ.

2014 වසරෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා නැත.

එංගලන්තය 2016 වසරේදී  20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

මේ අතර ඉන්දීය නායක රෝහිත් ශර්මා පවසන්නේ එංගලන්ත කණ්ඩායම පසුගිය තරගවලදී හොඳින් ක්‍රීඩා කර ඇති නිසා තමන්ට අභියෝගයක් එල්ල වනු ඇති බවයි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගාවලියේ අවසන් මහා තරගයක් දැකීමට තමන්ට අවශ්‍ය නොවන බවත්, එය වළක්වාලීමට ගත හැකි උපරිම පියවර ගන්නා බවත් එංගලන්ත නායක ජෝස් බට්ලර් පවසයි.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග ඔබට සිරස ටී.වී. ඔස්සේ සජිවීව නැරඹිය හැකියි.