ධනුෂ්කගේ නඩුවේ තොරතුරු රැසක් එළියට..

මාධ්‍ය වාරණය අවසන්: ධනුෂ්කගේ නඩුවේ විශේෂ තොරතුරු රැසක් එළියට..

by Staff writer 09-11-2022 | 9:58 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුවේ කරුණු ප්‍රසිද්ධ කිරීමට සිඩ්නි මහේස්ත්‍රාත්වරයා අද (09)  මාධ්‍ය වෙත අවසර ලබා දුන්නේ ය.

ඒ මාධ්‍ය ආයතන කිහිපයක් ගොනුකළ  අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අධිකරණය ලබාදුන් අවසරයත් සමග අනාවරණය කිරීම වළක්වා තිබූ තොරතුරු, ඔස්ට්‍රේලියානු මාධ්‍ය හෙළිකර තිබේ.

එම මාධ්‍ය වාර්තාවලට අනුව ධනුෂ්ක ගුණතිලක අදාල තරුණිය මුණගැසී, සිඩ්නි හි ඔපෙරා අවන්හලේ දී මත්පැන් පානය කර ඇති අතර පසුව දෙදෙනා බෝට්ටු සවාරියක නිරත වී ඇත.

පසුව දෙදෙනා තරුණියගේ  නිවෙසට ගොස් ඇති අතර, එහිදී ද ධනුෂ්ක ගුණතිලක අදාල තරුණිය ස‍මග බලහත්කාරයෙන් ලිංගිකව එක්ව පසුව ඇගේ ගෙල වටා අතදමා තත්පර 30 ක පමණ කාලයක් මිරිකා තද කර අල්ලා ඇතැයි චෝදනාවල සඳහන් වේ.

අධිකරණයේදී  ප්‍රකාශ වී ඇත්තේ, දෙවතාවක් තරුණියගේ ගෙල ධනුෂ්කගේ ග්‍රහණයට හසු වී ඇති බවය.

තෙවැනි වරද එම කාන්තාවගේ ගෙල ප්‍රදේශය ධනුෂ්ක ගුණතිලක  විසින් තදකර අල්ලා ගැනීමේදී  ඇය එය ඉවත් කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී තවත් ඔහුගේ ග්‍රහණයට හසුවී තිබේ.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ,  අනාරක්ෂිතව ලිංගික ක්‍රියාකාරකමක නිරත වීම සහ අස්වාභාවික හැසිරීම් පිළිබඳව ද තරුණිය චෝදනා නගා ඇති බවයි.

තරුණිය මේ පිළිබඳව තවත් මිතුරියන් දෙදෙනෙකු දැනුවත් කිරීමෙන් පසුව මනෝ උපදේශකවරයෙකු හමුවී ඇති අතර පසුව වෛද්‍යවරයෙකු ද හමුවී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ ඉන් අනතුරුවයි.

පසුව තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර එහිදී ඇගේ මොලයට බලපෑමක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කර ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මේ අතර ලබන අඟහරුවාදා හෝ බදාදා ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. 

එම නඩුව ජනවාරි 12 වැනි දින යළි කැඳවීමට නියමිතය.