මහ මුහුදේ පාවෙමින් තිබූ කුඩු එක්ක ‌ධීවරයින් කොටු

මහ මුහුදේ පාවෙමින් තිබූ කුඩු බෙදා ගෙන ගොඩබීමදී කොටු වූ ධීවරයින්

by Sagarika Chathumali 08-11-2022 | 9:08 AM

COLOMBO (News 1st) – බේරුවල, අඹේපිටියේ නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 08 යි ග්‍රෑම් 304 ක් සහිත පාර්සල් 07ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, අවුරුදු 42 ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ඊයේ (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබා ගත් බවයි. 

පසුගිය 6 වැනිදා තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී  හෙරොයින් ග්‍රෑම් 544 මිලිග්‍රෑම් 300ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

වයස අවුරුදු 43ක් වන නාකුළුගමුවේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ද මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටී.  

පසුගිය මස 11 වැනිදා  කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ධීවර යාත්‍රාවකට ගැඹුරු මුහුදේ  පාවෙමින් තිබූ එකට ගැට ගැසූ පොලිසැක් උර 02ක් හමු වී ඇති අතර එය පරීක්ෂා කිරීමේදී පාර්සල් 25 ක තිබූ හෙරොයින් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු සහ යාත්‍රාවේ හිමිකරු බෙදා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ. 

ඒ අනුව බේරුවලදී සහ කුඩාවැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ධීවර යාත්‍රාවේ සිට හෙරොයින් බෙදා ගත් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇත. 

ඉතිරි සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.