.webp)
COLOMBO (News 1st) – ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
නීතිඥ නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව සෙසු සාමාජිකයින් වන මෙම කමුවේ ප්‍රධානියා වන්නේ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතායි.
එම සිද්ධියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වාර්තා වූ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙම කමිටුව පුළුල් පරීක්ෂණයක් සිදු කරනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, මෙම ත්‍රිපුද්ගල කමිටුව කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු පැහැදිගි කිරීමක ඉල්ලා සිටිනු ඇති බවත් කළමනාකරුගේ වාර්තාව එම මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, යම් ක්‍රීඩකයකු අතින් වරදක් හෝ නොසැලකිළිමත් ලෙස හැසිරී ඇති බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගනු ඇති බවයි.
ලිංගික අතවර චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ තීරණය කළේ ය.
ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු සංචිතයකට තෝරා නොගනු ඇත.