කන්දකාඩු රැඳවියන් 217 ක් රිමාන්ඩ්

කන්දකාඩු ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 217 ක් රිමාන්ඩ්

by Staff writer 08-11-2022 | 3:26 PM

COLOMBO (News 1st)  කන්දකාඩු ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැඳවියන් 217 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ  එම රැඳවියන් පොළොන්නරුව හා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ  බවයි.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවු ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. 
 
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, කන්දකාඩු ගැටුම පිළිබඳ  පරීක්ෂණය පැවැත්විමට  ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 දෙනෙකුන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇති බවයි.

මෙම මණ්ඩලයෙන් සකස් කෙරන වාර්තා ඉදිරියේදී  අධිකරණ අමාත්‍යවරයාට ලබාදිමට නියමිතයි.

බාල්දියක් මුල්කරගනිසින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ  පෙරේදා පස්වරුවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයකින් පසු රැඳවියන් පිරිසක් පලා ගොස් තිබිණ.

ගැටුම ඇතිවූ අවස්ථාවේ  පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 547 ක් රැඳී සිට තිබිණ. 

මේ අතර කන්දකාඩු ගැටුමේ සිදුවූ දේපල හානි තක්සේරු කිරීමේ කටයුතු අද ආරම්භ කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. 

ඔහු පැවසුවේ ඒ සඳහා රජයේ නිලධාරින් කැඳවා ඇති බවයි.

මේ අතර මිට පෙර පසුගිය ජුනි මස 29 වෙනිදාත් මෙම කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. 

එහිදි  රැඳවියන් 400 ක පමණ පිරිසක් පලා ගිය අතර එහිදී රැඳවියෙක් ජීවිතක්ෂයට පත්විය. 

එම තත්ත්වය ඇතවූයේ රැඳවියෙකු සතුව දුම්කොළ ප්‍රමාණයක් තිබී හසුවීමෙන් පසුව උපදේශකයෙකු සමග ඇතිවූ බහින්බස්වීමකි. 

මේ අතර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.