කන්දකාඩු රැඳවියන් 201ක් අත්අඩංගුවට...

බාල්දියේ ගැටුමෙන් නොසන්සුන් වූ කන්දකාඩු දැන් සන්සුන්... රැඳවියන් 201ක් අත්අඩංගුවට

by Staff writer 07-11-2022 | 7:41 PM

COLOMBO (News 1st) –  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් 201 දෙනෙකු අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කර ඇති බවයි. 

අද (07) පස්වරුව දක්වා ගොඩනැගිල්ලක් අත්පත්කර ගෙන සිටි රැඳවියන් පිරිස අද පස්වරුවේ පොලිසිය වෙත භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.

මේ අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රවී හේරත් මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය අතරතුර පලාගිය රැඳවියන් 33 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භකර ඇති බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයකින් පසු රැඳවියන් පිරිසක් පලා ගියහ.

ඊට හේතු වූයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ නෑමට භාවිත කරන බාල්දියක් මුල්කරගනිමන් ගැටුම්කාරි තත්ත්වයකි. 

ගැටුම ඇතිවන අවස්ථාවේ  පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 547 ක් රැඳී සිටියහ. 

රැඳවියන් ස්නානය කරන ස්ථානයේදී බල්දිය ලබාගැනීමට  ගාල්ල ප්‍රදේශයේ රැඳවියෙකු සහ කොළඹ ප්‍රදේශයේ රැඳවියෙකු අතර මත ගැටුමක් නිර්මාණය වී තිබිණ.

පසුව  ගාල්ල සහ කොළඹ ලෙස රැඳවියන් කණ්ඩායම් දෙකකට බෙදී ගැටුමට යොමුවූ බව යුද හමුදාව පවසයි. 

පසුව ගැටුමට මුල්වූ එක් පාර්ශවයක් විසින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවි ගබඩාවට පිවිසිමට උත්සහ දැරූ බවත් එය වැළැක්වීමට මැදිහත් වූ බවත් හමුදාව ප්‍රකාශ කළේ ය. 

එම අවස්ථාවේ යුද හමුදාව  අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කර තිබිණ. 

මෙම මධ්‍යස්ථාන ආරක්ෂාව භාරව සිටින්නේ යුද හමුදා 9 වෙනි කාල තුවක්කු රෙජිමේන්තුවයි.

ගැටුමට සම්බන්ධ වූ 200 කට අධික පිරිසකගෙන් සමන්විත එක් පාර්ශවයක් අද පස්වරුව වන තුරුත්  ආරක්ෂක අංශවලට යටත් නොවි ගොඩනැගිල්ලක් අත්පත්කරගෙන සිටියේ ය. 

මේ අතර තුර කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් තුන්සිය දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගැණුන අතර තවත් පිරිස් පලාගොස් තිබිණ. 

මීට පෙර පසුගිය ජුනි මස 29 වෙනිදාත් මෙම කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

එහිදි  රැඳවියන් 400 ක පමණ පිරිසක් පලා ගිය අතර එහිදී රැඳවියෙක් මියගියේ ය. 

ඒ රැඳවියෙකු සතුව දුම්කොළ ප්‍රමාණයක් තිබී හසුවීමෙන් පසුව උපදේශකයෙකු සමග ඇතිවූ බහින්බස්වීමක් පසුව ගැටුමක් දක්වා දුරදිග යාමෙන් එම තත්ත්වය ඇතිවි තිබිණ.

මේ අතර ඊයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ. 

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන්නැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බවයි.