ධනුෂ්කට ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ සූදානමක්

ධනුෂ්ක වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කරනවා - නීතිඥ ආනන්ද අමරනාත්

by Staff writer 07-11-2022 | 8:11 PM

COLOMBO (News 1st) –කාන්තාවක අපයෝජනය කළැයි,  චෝදනා 4 ක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (07) අධිකරණයට ඉදිරිපත් කෙරිණ. 

එහිදි ඔහුට ඇප ලබාදීම සිඩ්නි අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. 

ඔහු විදේශිකයෙකු වීම සහ ඔහුට එරට පදිංචිය තහවුරු කිරීමට නොහැකි වීම මත  එය සිදුවු බව විදෙස් වාර්තාවල සඳහන් ය.


ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥ  ආනන්ද අමරනාත් මහතා පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. 


''ඔහු හොඳින් ඉන්නවා. මෙය පිළිගත නොහැකි අවදානමක් නැති බවට අපි උසාවියට පෙන්වා දුන්නා.  නමුත් උසාවිය එය පිළි ගත්තේ නැහැ. ඒ හේතුව නිසා ඔහු ගොඩක් කල කිරිලා ඉන්නේ. නමුත් අපිට ඒ තීරණය පිළි ගන්න වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ''

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම  සමග යළි මව් බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ සසෙක්ස් වීදියේ හෝටලේ රැඳී සිටියදී ය. 

තරුණ තරුණියන් ආදරය හා කැමැත්ත හුවමාරු කරගන්නා ජංගම දුරකථන ඇප් එකක් හරහා ආදාළ ඕස්ට්‍රෙලියානු කාන්තාව හා  ධනුෂ්ක ගුණතිලක අතර සම්බන්ධතාවක් ඇතිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඒ හරහා ඔවුන් හඳුනා ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදී ඇමතුම් හුවමාරු කරගෙන ඇති බවත් ඒ අතර වීඩියෝ ඇමතුම් ද වන බවත් එරට මාධ්‍ය වාර්තා කළේ ය. 

පසුව ඔහු  පසුගිය නොවැම්බර් 02 වනදා සිඩ්නි නුවර රෝස්බේහි පිහිටි අදාළ කාන්තාවගේ නිවසට ගොස් ඇති බව ද සඳහන් ය.

කෙසේ වෙතත් අදාළ කාන්තාව ඔස්ට්‍රේලියානු පොලිසියට පැමිණිලි කර තිබුණේ, තම නිවසේදී ඔහු තමන්ව අපයෝජනය කළ බවයි.

මෙම චෝදනා එල්ලවීමත් සමග ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් තරග අත්හිටුවීමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගත්තේ ය.

ඊට අමතරව ධනුෂ්ක සම්බන්ධයෙන්  විනය පරීක්ෂණයක් සිදු කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  තීරණය කර තිබේ.

ඔහු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව කරන පරීක්ෂණයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ය.