ධනුෂ්ට ගුණතිලකට ක්‍රිකට් තහනමක්

ධනුෂ්ක ගුණතිලක සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම අත්හිටුවයි - ශ්‍රී ලංකා ක්‍රිකට්

by Staff writer 07-11-2022 | 12:28 PM

COLOMBO (News 1st) - ලිංගික අතවර  චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. 

ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු සංචිතයකට තෝරා නොගනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, අදාළ ක්‍රීඩකයා සිදු කරන ලද බව කියන  වරද සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට  පියවර ගන්නා බවයි.   

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටී.  

මේ අතර ලිංගික අතවර කළ බවට කාන්තාවක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව පසුගියදා සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත් ධනුෂ්ක ගුණතිලක ඇප ඉල්ලීම  සිඩ්නි අධිකරණය අද  ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

ඔහු අද වීඩියෝ තාක්ෂණ ඔස්සේ සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කෙරෙණු අතර ඕස්ට්‍රේලියානු  මාධ්‍ය වාර්තා කළේ, ඔහුට අත්විලංගු දමා සිටින අයුරු දිස්වූ බව ය. 

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ පසුගිය (05) වැනිදායි. 

ඒ, සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේදී ධනුෂ්ක ගුණතිලක තමන්ව ලිංගික අතවරයකට ලක්කළ බවට 29 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි.

ඒ, තරුණ තරුණියන් ආදරය හා කැමැත්ත හුවමාරු කරගන්නා 'ඩේටින්' ඇප් එකක් හරහා ඇති වූ සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස ය.

ඒ හරහා අදාළ  තරුණිය ධනුෂ්ක ගුණතිලක සමග පළමුව සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම  ඇප් එක හරහා අහඹු ලෙස මිස විශේෂිත පුද්ගලයෙකු නම්කර සෙවිය නොහැකි අතර අහඹු ලෙස තමන් කැමති කාන්තාවක හෝ පිරිමියෙකු  සොයා යන අයෙකුට තවත් එවැනි කෙනෙකු තමන් අවට ප්‍රදේශයෙන් මුණ ගැස්වීම මෙම ඇප් එක මගින් සිදු කෙරේ.

මෙලෙස හඳුනා ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදී මෙම කාන්තාව හා ධනුෂ්ක ගුණතිලක අතර ඇමතුම් හුවමාරු වී ඇති බවත් ඒ අතර වීඩියෝ ඇමතුම් ද වන බවත්, ඒ අනුව ඇතිවුණු සබඳතාව මත පසුව ඔහු ඉකුත් නොවැම්බර් 02 වැනිදා, සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි අදාළ කාන්තාවගේ නිවසට ගොස් ඇති බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම තරුණිය විසින් ඔස්ට්‍රේලියානු පොලීසියට පැමිණිලි කර තිබුණේ තම නිවස තුළදී සිය කැමැත්තෙන් තොරව ධනුෂ්ක ගුණතිලක  සිව්වරක්  තමා දූෂණයට ලක් කළ බවය.

පසුව කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගය ඇතුළු චෝදනා 04 කට ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේදීය.


2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සඳහා ඔස්ටේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුවත් ඔහු ක්‍රීඩා කළේ පළමු තරගය සඳහා පමණි.

තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ඉතිරි තරග අහිමි විය.