ද. මුහුදේ මහා හෙරොයින් ජාවාරම

ඩුබායි සිට මෙහෙය වූ දකුණු මුහුදේ මහා හෙරොයින් ජාවාරම

by Staff writer 07-11-2022 | 6:23 PM

COLOMBO (News 1st) – දකුණු මුහුදේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා, වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබේ. 

ඔවුන් අද උදෑසන ගාල්ල නාවික හමුදා කඳවුර වෙත රැගෙනවිත් තිබේ. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වැනිදා දෙවිනුවර ධීවර වරායෙන් පිටත්ව ගිය 'කවිඳු පුතා' නමැති බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු, ඒවා ගොඩබිමට රැගෙන ඒමට සුදානම් කර තිබු ඩිංගි යාත්‍රාවේ සිටි ධීවරයින් 2 සහ ඒවා ලබා ගැනීමට ගොඩබිමේ සූදානමින් සිටි යුවළකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් කෝට්ටගොඩ, තලල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්ව කළ සෝදිසියකදීයී.

එහිදී අත්අඩංගුවට ගැණුනු හෙරොයින් තොගයේ බර කිලෝ 331 යි ග්‍රෑම් 110 කි.

එහි වීදි වටිනාකම රුපියල් මිලියන 6622.2 ක් පමණ වන ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ ය.

අත්අඩංගුවට ගත් ධීවරයින් පවසා ඇත්තේ පකිස්ථාන මුහුදු සීමාවේදි පසුගිය මස 24 වැනිදා පකිස්ථාන යාත්‍රාවක් මගින් එම පාර්සල් තොගය ලබාදුන් බවයි.

ඩුබායි සිටින පුද්ගලයෙකු විසින් කෝට්ටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මගින් මෙම ජාවාරම සම්බන්ධිකරණය කර ඇතැයි, අනාවරණය වී තිබේ.

මෙම වසර තුළ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වීදී වටිනාකම රු. බිලියන 23.12 කි.