වික්ටෝරියා, රන්ටැඹේ වාන් දොරටු විවෘත කිරීමට නියමිය

මහවැලි ගඟ පහළ කොටස භාවිත කරන ජනතාවට විමසිල්ලෙන් පසු වෙන්නැයි උපදෙස්

by Staff writer 06-11-2022 | 2:44 PM

COLOMBO (News 1 st ) - වික්ටෝරියා, රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට නියමිත බැවින් මහවැලි ගඟ පහළ කොටස භාවිත කරන ජනතාවට විමසිල්ලෙන් පසු වෙන්නැයි, රන්දෙනිගල රන්ටැඹේ ජලාශ, කාර්යභාර ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා පවසයි. 

ඔහු පවසන්නේ ,  රාත්‍රී කාලයේ දී  ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත් බිම් අවට ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි .

එසේම,  දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්  තවදුරටත් බලාත්මකයි.

 ඒ අනුව  මහනුවර, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොරනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන බල පැවැත්වෙනු ඇත. 

ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන්  මහනුවර, සුදුහම්පොල, පතනවත්ත ප්‍රදේශයේදී පස්කන්දක් කඩා වැටීමෙන් මවක සහ දියණියක තුවාල ලබා ඇති අතර පොලීසිය සඳහන් කළේ ඔවුන් ඊයේ රාත්‍රීයේ නිදා සිටියදී කාමරයට පස්කන්දක් කඩා වැටී ඇති බවයි.

නිවසේ තවත් 16 හැවිරිදි දැරියක නිදාසිට ඇති අතර පසුව ඇය පැමිණ ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ඉල්ලා සිටිය ද, වර්ෂාව හේතුවෙන් කිසිවෙකුටත් එය ඇසී නොමැත. 

ඒ අනුව එම  දියණිය තනිවම දැඩි ප්‍රයත්නයක් දරා පස් කඳුවලට යටව සිටි සිය  මව සහ 05 හැවිරිදි නැඟණිය බේරාගෙන තිබේ. 

තුවාල ලැබූ  42 හැවිරිදි මව සහ අනෙක් දියණිය මේ වන විට පේරාදේණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.  

තව ද සුදුහම්පොල, පහළ පතනවත්ත ප්‍රදේශයේදී තවත් පස්කන්දක් නිවස කඩා වැටීමෙන්  පුද්ගලයෙකු ද  සුළු තුවාල ලබා තිබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  සඳහන් කරන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් 

ඒ සමඟ ඇතිවිය  හැකි අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්  දී තිබේ.