උතුරු මාර්ගයේ තවත් දුම්රියක් අවලංගුයි..

උතුරු මාර්ගයේ තවත් දුම්රියක් අවලංගුයි..

by Staff writer 06-11-2022 | 3:29 PM

COLOMBO (News 1 st ) –  උතුරු මාර්ගයේ අද(06) දිනයේ ධාවනය වීමට නියමිත තවත් දුම්රියක් අවලංගු කර තිබේ. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමතව තිබූ දුම්රිය එලෙස අවලංගු කළ බවයි.

යාල් දේවී දුම්රිය පූනෑව ප්‍රදේශයේදී ඊයේ දිනයේ පීලි පැනීමත් සමග උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු විය. 

මේ හේතුවෙන් ඊයේ උතුරු මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය 02ක් අවලංගු කෙරිණ. 

පීලිපැනීමට ලක්වූ දුම්රිය මෙතෙක් පීලිගත කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනය තුළ දුම්රිය පීලිගත කිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, මහව සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගයේ කොටස ඉදිකළ දා සිට එනම් වසර 150කින් පමණ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුකර නොමැති බවයි.

ඒ අනුව එම මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කිරීම ලබන ජනවාරී මාසයේ සිට අදියර දෙකකින් සිදුකිරීමට පියවර ගෙන ඇතැයි එම නිලධාරීයා සඳහන් කළේ ය. 

මහව සිට වව්නියාව අතර මාර්ග කොටසේ දුර කිලෝමීටර් 128 කි.