අන්තර්ජාතික වෙළෙඳාමට ගැළපෙන වෙළෙඳගැළපුම් වැඩසටහනක්

අන්තර්ජාතික වෙළෙඳාමේ තරඟකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක් වීම සඳහා වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් - ජනපති

by Staff writer 06-11-2022 | 4:01 PM

COLOMBO (News 1 st ) – අන්තර්ජාතික වෙළෙඳාමේ තරගකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක් වීම සඳහා වෙළෙඳ ගැ
ළපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

අපනයන මූලික සෘජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා කලාපීය හා ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීම හා ගෝලීය ආර්ථිකය සමග නැවත සම්බන්ධවීම, දේශීය ආර්ථිකය යළි ගොඩනැංවීමේ රජයේ ආර්ථික වැඩපිළිවෙළේ මූලිකාංගයකි.

ඒ අනුව ඇමරිකාව හා යුරෝපය යන ප්‍රධාන අපනයන වෙළෙඳපොළ තුළට තවදුරටත් අවතීර්ණ වන අතරේ අපනයන වර්ධනය කර ගැනීම සඳහා විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේ ප්‍රයත්නයක රජය නිරත වෙයි. 

රජය පියවර ගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් පිහිටුවීමටයි.

රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයේ ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී සාකච්ඡා කළේ ය. 

නිදහස් වෙළෙඳ සාකච්ඡා, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන ඉදිරි දැක්ම සහ ඊට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.