දිස්ත්‍රික්ක රැසක යළි ඉන්ධන පෝලිම්: ඉන්ධන හිඟයට හේතුව කුමක් ද?

by Staff writer 05-11-2022 | 7:28 PM

COLOMBO (News 1st) - ටික කාලකට සිට ඉන්ධන පෝලිම් දක්නට නොලැබුණ ද අද (05) දිනයේ නැවතත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඉන්ධන පෝලිම් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ, ඉදිරි දින දෙක තුළ මේ ගැටලුව විසඳි යනු ඇති බවයි.

මීගමුව නගරයේ සිපෙට්කෝ හා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් දක්නට ලැබුණි.

අප වාර්තාකරු සඳහන් කළේ, දින දෙකක සිට එම ප්‍රදේශයේ ඉන්ධන හිඟයක් දක්නට ඇති බවයි.

ගම්පහ නගරයේත් අද පෙරවරුවේ සිපෙට්කෝ හා අයි.ඕ.සී ඉන්ධන හල් ඉදිරිපිට පෝලිම් දක්නට ලැබුණි

ගාල්ල කොටුව සිපෙට්කෝ ඉන්ධන හළ හා පෙට්ටිගලවත්ත සිපෙට්කෝ ඉන්ධන හළ අද වසා තිබෙනු දක්නට ලැබුණි. 

මාතර නගරයේත් ඇතැම් අයි.ඕ.සී හා ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්හී පෙට්‍රල් හා ඩීසල් හිඟයක් දක්නට ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. 

මෙම ඉන්ධන හිඟයට හේතුව කුමක් ද?

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැහැදිලි කිරීමක් කළේ ය.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම්, ශාන්ත සිල්වා මහතා,

ඉන්ධන ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් නිසා ඉන්ධන පිරවුම්හල්වල තදබදයක් ඇති වුණා. ඉන්ධන තොගවල අඩුපාඩුවක් නෙමෙයි ඇතිවුණේ. සෑම මාසෙකම 15 වැනි දා සහ 30 වැනි දා ඉන්ධන මිල අඩු වැඩි කිරීමේ තත්ත්වයක් තියෙන නිසා අන්තිම දවසේ තමන්ගේ තියෙන ඉන්ධන තොග අවසන් වන තුරු ඉඳලා මෙම තත්ත්වය බලලා ඉන්ධන ඇණවුම් කිරීමට ඔවුන් කටයුතු කළේ. ඒ තත්ත්වය යටතේ ඊට පෙරේදා තත්ත්වයකට මුහුණ දුන්නේ නමුත් ඊයත් අදත් ඉන්ධන ඇණවුම් කරලා අද හෙට වෙනකොට මේ තදබදය නිමාවට පත් වෙන්න පුළුවන්.

ඉන්ධන පෝලිම් තත්ත්වය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබා තිබේ.

ඔහු පවසන්නේ, ඉන්ධන මිල සංශෝධනයක් සිදුවේයැයි සිතා පිරවුරවුම්හල් හිමියන් ඇණවුම් සිදු කර නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම සතියේ කිසිදු ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

තෙල් තොග අවශ්‍ය පමණින් පවතින බව ද ඔහු සිය ට්විටර් සටහනේ දක්වා තිබේ.