.webp)
පුවත්පත පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන IMF ණය මුදල දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි.
කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනය හේතුවෙන් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා කෙටි කාලයකට නැවතීම හේතුවෙන් IMF ණය ප්‍රමාදවනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ වොෂින්ටන් නුවර මූල්‍ය විශ්ලේෂකයින් උපුටා දක්වමිනි.
මේ අනුව ලබන වසරේ මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ විධාය මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකාවට බලා සිටීමට සිදුවනු ඇතැයි එම පුවත්පත් වාර්තාව අනාවරණය කර තිබුණි.
IMF ණය ගන්න චීනය වැදගත් වුණේ ඇයි?
අපි දැන් ද්වීපාර්ශ්වික හා විවෘත වෙළෙඳපොළෙන් ගත් විදේශීය ණය ගෙවීම අත්හිටුවා ඇති රටකි.
ඊට හේතුවුණේ ණය ගෙවන්න අවශ්‍ය විදේශ විනිමය අපේ රටට නොමැතිවීම.
මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය කියන ආකාරයට මේ වනවිට නොගෙවා සිටින ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 36 කි.
මේ ණය ප්‍රමාණයට ඇතුළත් ද්වීපාර්ශ්වික ණයවලින් 52% ක්ම අපි අරන් තියෙන්නේ චීනයෙනි.
ද්වීපාර්ශ්වික ණයවලින් 19.5% ක් ජපානයෙනුත් 12% ක් ඉන්දියාවෙනුත් අපි අරන් තිබේ.
දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් ලබාදෙන්න අවශ්‍ය ප්‍රධානම කරුණ ලෙස කියන්නේ නොගෙවා තිබෙන මේ ණය ප්‍රමාණය ආපසු ගෙවන ක්‍රමයක් සකස්කරන්න කියා ය.
ද්වීපාර්ශ්වික ඒ කියන්නේ රටවල් දෙකක් අතර ණය ගනුදෙනු ගැන කතාකරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේත් සහය ඇතිව ක්‍රියාත්මක වන ආයතනයක් ඇත.
ඒකට කියන්නේ පැරිස් සමාජය කියලා.
අපි වැඩිම ණය ප්‍රමාණයක් අරන් තියෙන රටවල් තුනෙන් පැරිස් සමාජයේ ඉන්නේ ජපානය පමණයි.
චීනය හා ඉන්දියාව එතන නැත.
ඉන්දියාව IMF වැඩපිළිවෙළට සහය දෙන නිසා ඔවුන් සමග ණය ගැන කතාකරන්න මාර්ගයක් දැන් ඇත.
නමුත් ප්‍රශ්නය චීනය.
චීනය අපිට දීල තියෙන ණය ආපසු ගෙවන ක්‍රමයක් ගැන කතාකරන් වෙන්නෙ චීනයත් එක්කමයි.
චීනයෙන් ගත්ත ණයවලින් අපි මොනවද කරලා තියෙන්නේ ?
හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ නෙලුම් කුළුණ, අධිවේගී මාර්ග මේවා තමයි අපි චීනවලින් කරපු ආයෝජනයි.
ප්‍රශ්නය මේ ආයෝජනවලින් අපි ගත්ත ණය ගෙවන්න තරම් ආදායමක් ලැබුණේ නැත.
කිහිපයක් දැන් ආයෝජන කියලා ආපහු චීනයටම දීලා තිබේ.
ඒත් ණය ආපසු ගෙවලා නැත.
දැන් IMF කියන්නේ මේ ණය ගෙවන්න පුළුවන් ආකාරයට රටේ ආදායම වැඩිකරගන්න කියාය.
රජයේ වියදම් අඩුකර ගැනීම, වියදමට ගැලපෙන ගාස්තු ක්‍රම හඳුන්වාදීම වගේම දූෂණය වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගත් IMF ණය දෙන්න කලින් සලකා බලයි.
දැන් IMF ණය මුදලට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ගන්න අවශ්‍ය ප්‍රධාන සාධක තුනක් බලපාලා තිබේ.
* චීනයෙන් ගත්ත ණය කප්පාදු කර සහනයක් ලබා ගැනීම
* දූෂණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම
* සැබෑ ජනමතය තියෙන සුජාත ආණ්ඩුවක් තිබීම මේ සාධක තුනයි.
ආදායම්, වියදම් ගැන ප්‍රශ්නය කොහොම විසඳාගත්තත් මේ කරුණු තුන සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි ද?
මේ පසුබිම තුළ IMF මතම විශ්වාසය තබා තවදුරටත් ආර්ථිකය කළාමනාකරණය කළ හැකි ද?