තැපැල් පාර්සල් 13ක් තුළ මිලියන 73ක මත්ද්‍රව්‍ය

රටවල් 6 කින් ඒවා තිබූ පාර්සල් 13 ක් තුළ රු. මිලියන 73ක මත්ද්‍රව්‍ය

by Staff writer 04-11-2022 | 5:47 PM

COLOMBO (News 1st) - පසුගිය කාලය තුළ බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, අමෙරිකාව, බෙල්ජියම හා නෙදර්ලන්තය යන රටවල්වලින්  එවන ලද තැපැල් පාර්සල් 13 ක තිබී මත්පෙති, කූෂ්, මැන්ඩි, අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන  තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ, එය රුපියල් මිලියන 73කට අධික වටිනාකමින් යුතු බවයි.

රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් රඳවා ගනු ලැබූ සැක සහිත පාර්සල් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව ඊයේ (3) පරීක්ෂා කිරීමේ දී එම පාර්සල් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබුණ මත්ද්‍රව්‍ය තොගය එලෙස සොයා ගනු ලැබිණි.

මෙම පාර්සල් සම්බන්ධයෙන් තැපැල් නිලධාරීන් වෙත ලබාදී තිබූ ලේඛනවල සඳහන්ව ඇත්තේ ඒවායේ පුද්ගලික භාණ්ඩ අඩංගු බවටයි.

මේ පිළිබඳව මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හට භාර දී තිබේ.