ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔස්ට්‍රේලියාවට ලකුණු 4ක තියුණු ජයක්: ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට

by Staff writer 04-11-2022 | 6:47 PM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(04) සිදුවිය.

ඒ, ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව අද ලකුණු 4 කින් ජය ගැනීමත් සමගිනි. ඒ අනුව හෙට ශ්‍රී ලංකාව සහභාගීවන එංගලන්තය සමග තරගය ශ්‍රී ලංකාව ජය ගත්ත ද, අවසන් පූර්ව වට⁣ය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට අවස්ථාව නොමැත. නමුත් හෙ⁣ට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහි තරගය ජය ගතහොත් ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව හිමිවේ. ඒ, එවිට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනටමත් තමන් සතු දෙවන ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට හිමිවන බැවිනි. හෙට තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජය ගතහොත් සත්කාරක ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරවමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව බොහෝ දුරට උදාවෙයි. ඊට හේතුව වන්නේ එංගලන්තය ජයගත් විට ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද ලකුණු සමාන වීමයි. එවිට දල ලකුණු වේගය (Net Run Rate) සලකා බලා දෙවන ස්ථානය තීරණය කරනු ලැබේ. දැනට ඔස්ට්‍රේලියාවේ දල ලකුණු වේගය සෘණ අගයක් ගන්නා අතර එංගලන්තයේ දල ලකුණු වේගය ධන අගයක පවතී. ඇඩිලේඩ්හිදී අද පැවති ඇෆ්ගනිස්ථාන - ඔස්ට්‍රේලියා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 168ක් රැස් කළේ ය. ග්‍රේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 54 ක් රැස් කළේ, හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද සමගිනි. නවීන් උල් හක් කඩුලු 3ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 40 කදීයි. තුන්වන කඩුල්ලට ගුලාබ්දීන් නයීබ් සහ ඊබ්‍රහීම් සද්රාන් ලකුණු 23ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රශීඩ් ඛාන් පන්දු 23කින් නොදැවී ලකුණු 48යි. ලකුණු 169 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස් ගත් ලකුණු සංඛ්‍යාව 164 කි. ඒ සමගින් ඇෆ්ගනිස්ථානයටද මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවිය.