දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් පකිස්තානයට ජය..

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් පකිස්තානයට ජය..

by Staff writer 03-11-2022 | 6:33 PM

COLOMBO (News 1st) – 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව පකිස්තානය ලකුණු 33කින් ජය ගත්තේ ය.

සිඩ්නිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක සබඳතා අතරට පිවිසීමට හැකි වූයේ නැහැ.

මොහොමඩ් හාරිස් පන්දු 11කින් ලකුණු 28කි.

නායක බාබර් අසාම් ඇතුළු මුල් පෙළ ප්‍රබල පිතිකරුවන් සිව් දෙනෙක් ලකුණු 43ක් තුළ දැවී ගියේ  ය. 

ඉෆ්තිකාර් අහමඩ් සහ මොහොමඩ් නවාස් පකිස්ථාන ඉනිමට ස්ථාවරත්වයක් ගොඩනැගුවේ පස්වැනි කඩුල්ලට  ලකුණු 52ක සබඳතාවක් පිහිටුවමින්.

නවාස් පන්දු 22කින් ලකුණු 28කි. 

අනතුරුව පිටියේ ස්ථාවර වූ ඉෆ්තිකාර් අහමඩ් සහ ශඩාබ් ඛාන්, පකිස්ථාන 6 වැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් ගොඩනැගූ අතර ඔවුන් දෙදෙනාම අර්ධ ශතක රැස් කළේ ය. 

අන්රික් නොකියා කඩුලු 4කි. 

පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9කට ලකුණු 189ක් රැස් කළේ ය.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 16කදී ය.

ක්වින්ටන් ඩී කොක් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර, රයිලි රුසොව් ලකුණු 7කට පිටියෙන් ඉවත් විය.  

නායක ටෙම්බා බවුමා ලකුණු 36ක් රැස් කළේ පන්දු 19කින් ය.

එයිඩන් මාක්‍රම් ලකුණු 20කි.

ශහීන් අෆ්‍රිඩි කඩුලු 3ක් දවා ගත්තේ ය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දකුණු අප්‍රිකාවට පන්දුවාර 14කදී ලකුණු 142ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 108ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේත් තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන පළමු ඛාණ්ඩයේ තරග 2ක් හෙට පැවැත්වෙයි.  

පළමුව නවසීලන්ත - අයර්ලන්ත තරගයත් දෙවනුව ඔස්ට්‍රේලියා - ඇෆ්ගනිස්ථාන තරගයත් ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.