රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

ටයිල් සහ නාන කාමර උපාංග ආනයනය අත්හිටුවීමේ ගැසට්ටුවෙන් පාරිභෝගිකයා පීඩා නොවිය යුතුයි -මුදල් කාරක සභාව

by Staff writer 03-11-2022 | 2:30 PM

COLOMBO (News 1st) - ටයිල් සහ නාන කාමර උපාංග  ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදනය සඳහා අනුමැතිය ලබා දීමට පෙර ඒ පිළිබඳව තවදුරටත් විශ්ලේෂණාත්මක සාකච්ඡා වටයන් පැවැත්විය යුතු බව රජයේ මුදල් කාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම අනුමතිය ලබාදීම මගින් පාරිභෝගිකයාට සාධාරණයක් සිදුවනවාද යන්න පිළිබඳව සැලකිල්ලට බඳුන් කළ යුතු බවයි.  

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එහිදී 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සඳහන් 2296/30 ගැසට් පත්‍රය පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගත් බවයි.

මෙම ගැසට් පත්‍රය මඟින් Squatting pans සහ සින්ක් ඇතුළු නාන කාමර උපකරණ ආනයනය තාවකාලිකව අත්හිටුවීමත් ටයිල් ආනයනය තහනම් කිරීමත් යෝජනා කර තිබිණි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ආනයන සීමා පනවා ඇති සමයක වෙළඳපොළ තුළ ඇතිව තිබෙන ඒකාධිකාරිය හා ටයිල් ඇතුළු නාන කාමර උපාංගයන්හී මිළ පාරිභෝගිකයාට අසාධාරණයක් වන පරිදි ඉහළ යාම මෙන්ම ඉල්ලුමට අනුව සැපයුම නොමැති වීම පිළිබඳව මෙහිදී කමිටු සාමාජිකයන්ගේ අවධානයට ලක්වූ බවයි. 

එම නිසා මේ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයට කමිටුව නිර්දේශ කර තිබේ.