සිම්බාබ්වේට එරෙහිව නෙදර්ලන්තයට පහසු ජයක්

සිම්බාබ්වේට එරෙහිව නෙදර්ලන්තයට කඩුලු 5ක පහසු ජයක්

by Hashini De Mel 02-11-2022 | 7:35 PM

COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය නෙදර්ලන්තය කඩුලු 5කින් ජය ගැනීමට සමත් විය.

තරගය අද(02) පැවැත්වුණේ ඇඩිලේඩ්හී පිටියේදීය.

කාසියේ වාසිය හිමි කරගත්  සිම්බාබ්වේ නායකයා,  පන්දුවට පහරදීමට තීරණය කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමට සිය ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 117ක් පමණි.

සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 දැවී ගියේ ලකුණු 20 කදීය.

සිව්වන කඩුල්ල වෙනුවෙන් සිකන්දර් රාසා සහ ෂෝන් විලියම්ස් ලකුණු 48ක සබඳතාවක් ගොඩනැගුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුල්ල  දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 17ක් ලෙස දිස්වන විටදීය.

මැක්ස් ඔ'ඩවුඩ් සහ ටොම් කූපර් දෙවන කඩුල්ලට ලකුණු 73ක  අනගි සබඳතාවක් ගොඩනැගුවේ ය.

මැක්ස් ඔ'ඩවුඩ් ලකුණු 52යි.

ලකුණු 118ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තය පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් දැවී තිබියදී එම ඉලක්කය පහසුවෙන් පසු  කිරීමට සමත් විය.