විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නියෝගයක්

විදෙස් රැකියාවලට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීමට සති 2 ක් තුළ සැලැස්මක් සකස් කරන්න - කෝපා කමිටුවෙන් නියෝග

by Staff writer 27-10-2022 | 9:38 AM

COLOMBO (News 1st) - පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් සති දෙකක් තුළ සකස් කරන්නැයි කෝපා කමිටුව විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නියෝග කර තිබේ.

කෝපා කමිටුව නියෝග කර ඇත්තේ, වෘත්තිය පුහුණු ආයතන සමග ඒකාබද්ධව මෙම කාර්යක්ෂම වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගයීම පිළිබඳව වූ කාර්ය සාධන විගණන වාර්තාව පරීක්ෂා කිරීම සඳහා කෝපා කමිටුව රැස් වූ අවස්ථාවේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මේ උපදෙස් ලබා දී තිබේ.

කමිටු සභාපතිවරයා සඳහන් කළේ, අදාළ වැඩපිළිවෙළේ සැලැස්ම පිළිබඳව විමසීමට විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නැවත කෝපා කමිටුව හමුවට කැඳවන බවයි.

විදෙස් රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන්ට විශාල ඉල්ලුමක් පැවතිය ද ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයන් මෙරටින් යැවීමට නොහැකි වීම බරපතළ ගැටලුවක් බව කෝපා හෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අවධාරණය කළේ ය.

කෝපා කමිටුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, අදාළ වගකිව යුතු ආයතන මනා සම්බන්ධීකරණයෙන් නිෂ්චිත වැඩපිළිවෙළක් මත ක්‍රියාත්මක නොවීම මීට හේතු වී ඇති බවයි.

2016 වසරේ අමෙරිකාව සහ මෙරට රජය අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව සුදුසුකම් සහිත හෙදියන් සඳහා එරට අවකාශ තිබුණ ද ඊට අයැදුම්කර තිබූ හෙදියන් 425 දෙනෙකු අතුරින් අදාළ භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී ඇත්තේ හෙදියන් 3 දෙනෙකු පමණක් බව ද පසුගියදා කෝපා කමිටුවේදී අනාවරණ විය.