පකිස්ථානයට එරෙහිව සිම්බාබ්වේට පෙරළිකාර ජයක්

ප්‍රබල පකිස්ථානයට එරෙහිව සිම්බාබ්වේට එක් ලකුණක පෙරළිකාර ජයක්

by Staff writer 27-10-2022 | 9:45 PM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල  පකිස්ථාන කණ්ඩායමට එරෙහි තරගය සිම්බාබ්වේ කණ්ඩායම එක් ලකුණකින් අද (27) ජය ගත්තේ ය.

පර්ත්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ  කණ්ඩායම පන්දුවාර 20 අවසානයෙදී කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130කි.

නායක ක්‍රෙයිග් අර්වින් ලකුණු 19ක් රැස් කළේ ය.

වෙස්ලි මධවේරේ ලකුණු 17කට දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශෝන් විලියම්ස් ලකුණු 31යි.

ශඩාබ් ඛාන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3 ලකුණු 36කදී බිඳ වැටුණි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 14කට දැවී ගිය අතර ශාන් මසූඩ් ලකුණු 44යි.

මොහොමඩ්  නවාස් ලකුණු 22ක් රැස් කිරීමට සමත් විය.

සිකන්දර් රාසා කඩුලු 3යි.

පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 129ක් පමණි.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සුපිරි 12 දෙනාගේ වටයේ ලැබූ පළමු ජයග්‍රහණය ලෙස මෙය වාර්තා අතරට එක් විය.