ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

by Staff writer 25-10-2022 | 9:10 PM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 7 කින්  ජය ගැනීමට අද (25) සමත් විය.

පර්ත් ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය හිමි කරගත් ඔස්ට්‍රේලියා නායක, ඒරන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේ ය.

අයර්ලන්තයට එරෙහි තරගයට ඇතුළත් නොවූ පැතුම් නිස්සංක ආබාධය සුව වීමෙන් අනතුරුව මෙම තරගයට එක් වූ  අතර ඔහු සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් මෙන්ඩිස් ය.

කෙසේ නමුත් පෙර පැවැති තරගවලදී ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස්ට පර්ත් තණතිල්ලෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම නොහැකි වූ අතර ඔහු ලකුණු 5කට දැවී ගියේ ය.

අනතුරුව පැතුම් සමග එක් වූ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ලට සාර්ථක ලකුණු 69ක සබඳතාවක්  පිහිටුවූයේ ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් එක් කරමිනි.

ධනංජය ලකුණු 26යි.

පැතුම් නිස්සංක ලකුණු 45ක් රැස් කළ අතර ඊට 4 පහර 2ක් ඇතුළත් විය.

චරිත් අසලංක සමග එක් වූ චාමික කරුණාරත්න, 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක නොබිඳුණු සබඳතාවක් වාර්තා කළේය. 

නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 157ක් රැස් කළේ ය.

අනතුරුව ලකුණු 158ක ඉලක්ක් ඇතැතිව ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ, නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් යි.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 26කට සීමා වූයේ වෝනර් ලකුණු 11කට දැවීයාම හේතුවෙනි.

මිචෙල් මාෂ් සහ ඒරන් ෆින්ච් අතර ඔස්ට්‍රේලියා දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 34කි.

මාෂ් ලකුණු 18යි.

ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 23කට දැවී ගියේ ය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මාකස් ස්ටොනීස් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 18කින් ලකුණු 59ක් රැස් කරමිනි.

6 පහර 6ක් සහ 4 පහර 2ක් එම ඉනිමට ඇතුළත් විය.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 16යි පන්දු 3 ක් අවසානයේදී කඩුලු 3 ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.