යාල වනෝද්‍යානයේ සෙල්ලම් දැම්ම පිරිසට මග පෙනවූ සහ පාලනය නොකළ නිලධාරීන්ගේ සේවය අත්හිටුවයි

by Staff writer 25-10-2022 | 9:59 AM

COLOMBO (News 1st) – යාල වනෝද්‍යානයේ වන සතුන්ට හිංසාකාරී ලෙස වාහන ධාවනය කළ බව කියන පිරිස සමග ගිය මගපෙන්වන්නන්ගේ සහ තත්ත්වය පාලනයට මැදිහත් නොවූ  නිලධාරීන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ. 

ඒ , ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි. 

අනිසි ලෙස වාහන ධාවනය කළ පිරිස සම්බන්ධයෙන් ද වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ. 

අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ ඔවුන් කුමන තරාතිරමක සිටින අය වුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වා පොලිස්පතිතුමාට ලිපියක් යොමු කරන ලෙසයි. 

එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන පුද්ගලයින් හා වාහන නැවත වනෝද්‍යානවලට ඇතුල්වීම වැළැක්වීම සඳහා කළු ලැයිස්තුවට ඇතුළත් කිරීම වැනි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා  නිලධාරින්ට උපදෙස් දී  තිබේ. 

මේ අතර  වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ,   මෙලෙස කටයුතු කළ පුද්ගලයින් පිළිබඳව සියලු තොරතුරු සහ සාක්ෂි වනජීවි දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.    

ජීප් රථ 40 කින්  පමණ යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හා පරිසරයට හානි වන අයුරින් වනෝද්‍යානයේ නීති කඩ කරමින් හැසිරෙන අයුරු දැක්වෙන් දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. 

අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ පසුගිය සෙනසුරාදා මේ පිරිස වනෝද්‍යානයට ඇතුළු වී ඇති බවයි.