ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව දෙගුණ වෙයි

ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනපතිගෙන් උපදෙස්

by Staff writer 24-10-2022 | 8:31 PM

COLOMBO (News 1st) - ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී තිබේ.

ඒ, ත්‍රීරෝද රථ රියැදුරන් සමග අද (24) පැවති සාකච්ඡාවකදීය.

මේ අනුව එහි පළමු අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙනු ඇති.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවය. 

මේ අනුව බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ලියාපදිංචිය ලබන නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන අතර නව QR කේතය යටතේ ඉන්ධන සැපයීම නොවැම්බර් 06 වැනිදා සිට  ආරම්භ වනු ඇති.

දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 06 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසුව එම ත්‍රීරෝද රථවලට ද නව ඉන්ධන කෝටාව ලබාදීමට සැලසුම් කර ඇත.

දැනට මෙරට තුළ ත්‍රීරෝද රථ දස ලක්ෂ අසූ දහසක් පවතින අතර, එයින් වෘත්තිමය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලක්ෂ හතරක් පමණ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.