මහ වැසි:දිය ඇලි, ගංගවලට බැස දිය නෑමෙන් වළකින්න

මහ වැසි නිසා ජල මට්ටම් ඉහළට: ජලාශ, දිය ඇලි, ගංගා හා වැව්වලට බැස දිය නෑමෙන් වළකින්න - පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි..

by Hashini De Mel 23-10-2022 | 7:41 AM

COLOMBO (News 1st) - දිවයින පුරා දැනට පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දීර්ඝ සතිඅන්තය සමග මහජනතාව විවිධ ස්ථානයන්හි සංචාරවල නිරත වන බැවින් ජලය ආශ්‍රිත සිදු කරන ක්‍රියාකාරකම්වලදී විවිධ අනතුරුවලට ලක්වීමේ හැකියාව ඇති බැවින් අනතුරුවලින් ආරක්ෂාවන්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

පවතිව අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ජලාශ, දිය ඇලි, ගංගා හා වැව්වල ජල මට්ටම ඉහළ ගොස් පැවතීම සහ විවිධ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවන අනතුරු විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

පොලීසිය පැවසුවේ, අධික ලෙස වර්ෂාව ලැබීම හේතුවෙන් දිය ඇලි සහ ගංගාවල ජල මට්ටම් එකවරම ඉහළයාමට හැකියාවක් පවතින බැවින් ගංගා පහළ ප්‍රදේශවල වාසය කරන පදිංචිකරුවන් සහ විවිධ සංචාරවල නිරත වන පුද්ගලයින් එම ගංගා සහ අතුගංගාවල සිදු කරන ක්‍රියාකාරකම්වලදී සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම දිය ඇලි, වැව්, ගංගා හා වෙරළ තීර ආශ්‍රිතව දිය නැමෙන් වැළකි සිටිය යුතු අතර එම ස්ථාන ආශ්‍රිතව රාජකාරි නිරතව සිටින ජීවිතාරක්ෂක හා ප්‍රජා පොලිස් නිලධාරීන් විසින් ලබා දෙන උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙස ද  පොලීසිය වැඩිදුරටත් පැවසීය.

එම ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති අවවාදාත්මක දැන්වීම් සම්බන්ධව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ද එම ස්ථානයන්හි මත්පැන් පානය කර දිය නෑමෙන් හැකිතාක් වළකින ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී

විශේෂයෙන් කුඩා ළමුන් එම ස්ථානවලට යොමු කිරීමෙන් වළකින ලෙස හා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.