පකිස්ථානයට එරෙහිව ඉන්දියාවට තියුණු ජයක්

කෝලිගේ සුපිරි ඉනිමෙන් පකිස්ථානයට එරෙහිව ඉන්දියාවට කඩුලු 4ක තියුණු ජයක්

by Staff writer 23-10-2022 | 6:18 PM

COLOMBO (News 1st) - පකිස්ථාන කණ්ඩායම සමග සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ අද (23) පැවැති තරගය ඉන්දීය කණ්ඩායමට කඩුලු 4ක තියුණු ජයක් හිමිවිය.

90,000ක ප්‍රේක්ෂක ධාරිතාවයකින් යුත් මෙල්බන්  ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව පිරී තිබුණේ, ආසියානු කලාපයේ ප්‍රබල රටවල් දෙකක ක්‍රිකට් ගැටුමේ උද්වේගය සහ චමත්කාරය විඳ ගැනීම සඳහායි.

කාසියේ වාසිය හිමි කරගත් ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පකිස්ථානයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන්‌ගේ බලඇණිය අවස්ථාව ලබා දුන්නේ නැත.

කෙසේ නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන්  ශාන් මසූඩ් සහ ඉෆ්තිකාර් අහමඩ් ගොඩනැගූ ලකුණු 76ක සබඳතාව පකිස්ථාන ඉනිම ආරක්ෂාකාරී ලකුණු මට්ටමක් වෙත  රැගෙන යාමට සමත් විය.

ඉෆ්තිකාර් අහමඩ් පන්දු 34 කින් ලකුණු 51ලබා ගැනීමට සමත් විය.

ඔහුගේ ඉනිම 6 පහර 4කින් සහ 4 පහර 2කින් වර්ණවත් විය.

ශාන් මසූඩ් ලකුණු  52යි.

පකිස්ථාන පිතිකරුවන් 7 දෙනෙකුටම ලකුණු 10යේ සීමාව පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්නේ ය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්ඩික් පාන්ඩ්‍යා සහ අර්ශදීප් සිං කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

ලකුණු 160ක ඉලක්කයක් වෙනුවෙන්  පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 31කදී බිඳ හෙළිමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

නායක රෝහිත ශර්මා ලකුණු 4යි.

බිඳ වැටුණු ඉන්දීය ඉනිම ගොඩනැගීමේ වගකීම කරටගත් ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමඟ එක්වූ  හර්ඩික් ප්‍රවේගකාරී පිති හරඹයක නිරත විය.

ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 113කි.

පාන්ඩ්‍යා ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය ඉනිමේ සාර්ථකම පිතිකරු වූ විරාත් කෝලි නොදැවී පන්දු 53කින් ලකුණු 82 ක් රැස් කිරීමට සමත් විය.

දෙපිලටම දෝලනයේ වූ තරගයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම දෙසට ඇදී ආවේ, මොහොමඩ් නවාස් යොමු කළ අවසන් පන්දුවාරයේදී ය.

එම පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 16ක් රැස් කළ යුතුව තිබූ අතර පකිස්ථාන පන්දු යැවීමේ දුර්වලතා හමුවේ කඩුලු 6ක් දැවී එම ඉලක්ක පසු කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.