රුසියානු සංචාරකයින් ගෙන්වා ගැනීම ගැන සැලසුම්...

මසකට රුසියානු සංචාරකයින් 5000කට අධික සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට‍ සැලසුම්...

by Staff writer 21-10-2022 | 6:59 AM

COLOMBO (News 1st) –  මසකට රුසියානු සංචාරකයින් 5000කට අධික සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට‍ සැලසුම් කර ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා රුසියාව පුරා ප්‍රචාරක වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

ශාන්ත පිටර්ස්බර්ග් ඇතුළු නගර කිහිපයක පසුගිය සති කිහිපයේ මෙරට සංචාරක ව්‍යාපාරය පිළිබඳ නියෝජිත ආයතන හා ජනතාව දැනුවත් කළ බවද ඇය ප්‍රකාශ කළා ය.

එරෝෆ්ලොට් ගුවන් සේවය මේ වනවිට සතියකට ගුවන් ගමන් දෙකක් කොළඹ හා රුසියාව අතර සිදු කරන අතර එය ඉදිරි සති දෙක ඇතුළත තවත් වැඩි කිරීමට නියමිතය.

අසූර්යා ගුවන් සේවය ද රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට කැමැත්ත පල කර තිබේ. 

තානාපතිවරිය සඳහන් කළේ, පසුගිය සති දෙක තුළ පමණක් රුසියානු ජාතිකයින් 1000 ක් මෙරටට පැමිණ ඇති බවයි.