කොදෙව්වන් T20 ලෝක කුසලානයෙන් ඉවතට..

දෙවරක් ලෝක ශූරයින් වූ කොදෙව්වන් T20 ලෝක කුසලානයෙන් ඉවතට..

by Staff writer 21-10-2022 | 4:07 PM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ජයගත් අයර්ලන්තය සුපිරි 12 දෙනාගේ තරග වටයට අද සුදුසුකම් ලබා ගෙන තිබේ.

ඒ අනුව, දෙවරක් පන්දුවාර 20යි 20 ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවිය.

හෝබාර්ට්හීදි පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් නායක නිකලස් පූරන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146 ක් රැස් කළේ ය.

බ්‍රෙන්ඩන් කින්ග් නොදැවී පන්දු 48කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 62 කි.

ජොන්සන් චාල්ස් ලකුණු 24 ක් රැස් කළේ ය.

ගැරත් ඩිලේනි කඩුලු 3යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ නායක ඇන්ඩි බැල්බර්නි සහ පෝල් ස්ටර්ලින් පළමු කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 73 කි.

නායක ඇන්ඩි බැල්බර්නි ලකුණු 37 ක් රැස් කළේ ය.

පෝල් ස්ටර්ලින් පන්දු 48 කදී නොදැවී ලකුණු 66 යි.

ලෝකන් ටකර් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 45 කි.

ඒ අනුව පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කරමින් අයර්ලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ ය.