ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට

ශ්‍රී ලංකාව 20/20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයට

by Staff writer 20-10-2022 | 1:34 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ස්ථානය අද(20) තහවුරු කර ගත්තේ ය.

ඒ, සුදුසුකම් ලැබීමේ වටයේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 16 කින් ජය ගැනීමත් සමගයි. 

ජීලොන්ග්හි, කාඩිනියා පාක් ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 36 කි.

අනතුරුව කුසල් මෙන්ඩිස් සමග පිටියේ ස්ථාවර වූ චරිත් අසලංක තුන් වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ය.

චරිත් අසලංක පන්දු 30කින් ලකුණු 31ක් රැස් කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 19යි.

ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 79ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. 

පන්දු 44කින් ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස්  කළ අතර 6 පහර 5කින් සහ 4 පහර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 162කි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්තයේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 47කදී බිද වැටුණි.

නායක ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 21යි.

හුදකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු මැක්ස් ඔ'ඩවුඩ් ලකුණු 71ක් රැස් කළේ ය.

පන්දු 53කින් ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ 4 පහර 6ක් සහ 6 පහර 4ක් ඉනිමට ඇතුළත් ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 146ක් පමණි.