ගෝඨාභය රාජපක්ෂට නොතීසි..

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි..

by Staff writer 19-10-2022 | 7:22 PM

COLOMBO (News 1st) –  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන දෙසැම්බර් 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(19) අවසර දුන්නේ ය.

ඒ, 2011 වසරේ යාපනයේදී සමාජ ක්‍රියාකාරින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජා හා කුගන් මුරුගානන්දන් යන දෙදෙනා අතුරුදන්වීමේ සිදුවීමට අදාළ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී ය.

ලලිත් වීරරාජා හා කුගන් මුරුගානන්දන් යන දෙදෙනා යාපනය අධි ආරක්ෂක කලාපය තුළදී 2011 වසරේදී අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත් කර තිබූ නියෝගයක් ක්‍රියාත්මක කිරිම වළක්වමින් අභියාචනාධිකරණය දුන් නියෝගයකට එරෙහිව පවරා තිබූ නඩුවක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විමසා බැලිණි.

එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට අද අධිකරණය හුමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිලිකාර පාර්ශවයට අවසර ලබාදී තිබුණි. 

නමුත් ඔහු මිරිහාන නිවසේ පදිංචිය අතහැර යාමේ පදනම මත අධිකරණය හමුවේ පෙනී නොසිටින බව දැන ගන්නට ලැබී ඇති බැවින් මේ වනවිට පදිංචි කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසට ගොස් සිතාසිය භාර දීමට අවසර දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. 

එම ඉල්ලීම සලකා බැලු ගාමිණි අමරසේකර , යසන්ත කෝදාගොඩ හා ඒ.එච්.එම්.ඩී නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම අවසරය ලබා දුන්නේ ය.