ලෝක කුසලාන සටන වෙනුවෙන් අද තරග 2ක්

UAE සමග තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකාව අද පිටියට..

by Staff writer 18-10-2022 | 7:10 AM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ A කාණ්ඩයේ තරග දෙකක් ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හිදී අද (18) පැවැත්වේ.

එහි පළමු තරගය පැවත්වෙන්නේ, නැමීබියාව සහ නෙදර්ලන්තය අතරයි.

එම කණ්ඩායම් දෙකම සුදුසුකම් ලැබීමේ වටයේ එක් තරගය බැගින් ජය ගෙන සිටී.

එම තරගය මෙරට වේලාවෙන් උදෑසන 9. 30ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර අද දිනයේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර පැවැත්වේ.

සුදුසුකම් ලැබීමේ වටයේ සහභාගී වූ පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකාවට මෙන්ම එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ද සුපිරි 12 දෙනාගේ වටයේ ස්ථානය වෙනුන් මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් ය.

පන්දුවාර 20යි 20 තරග බිමේදී මෙම කණ්ඩායම් දෙක මීට පෙර එක් අවස්ථාවක ද මුණ ගැසී ඇති අතර ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න මාධ්‍ය හමුවේ පැවසුවේ, නැමීබියාවට එරෙහිව පැවැති තරගයේදී වූ දුර්වලතා මඟහරවාගෙන මෙම තරගයට මුහුණ දෙන බවයි.

මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ කිරීමට නියමිතය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග  සිරස ටී.වී ඔස්සේ ඔබට සජීවීව නැරඹීමට හැකිය.