"මොනවා වුණත් ඊළඟ තරග දෙක දිනන්නම වෙනවා"

ශ්‍රී ලංකාව හෙට UAE සමග තරග බිමට: "මොනවා වුණත් ඊළඟ තරග දෙක දිනන්නම වෙනවා" - චාමික කරුණාරත්න

by Chathuranga Rajapaksha 17-10-2022 | 5:52 PM

COLOMBO (News 1st): ඊළඟ තරග දෙක අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු බව ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසයි.

ඔහු මේ බව පැවසුවේ පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී හෙට(18) පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර කණ්ඩායමට පෙර අද(17) පැවති මාධ්‍ය හමුවේදීය.

ඔහු පැවසුවේ ඉදිරි තරග දෙක 100%කින් හොඳින් ක්‍රීඩා කළ යුතු බවත් ඒ පිළිබඳව කණ්ඩායමේ ක්‍රීඩකයින් හොඳ අව‌බෝධයකින් සිටින බවය.

චාමික එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

"තවමත් කණ්ඩායම් හතරම හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඊයේ පැවති අවසන් තරගයේදීත් UAE නෙදර්ලන්තය අවසන් පන්දුවේදී අවසන් පන්දුවට මුහුණ දුන්නා. මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ, මොකද මේ තරගය හැමවිටම උද්වේගකරයි. ඕනම දෙයක් වෙන්න පුළුවන්, අපි බලමු."

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය හෙට(18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1.30ට ආරම්භ වීමට නියමිතය.

එය ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය 20යි 20 ලෝක කුසලානයකදී ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වේ.

මීට පෙර දෙරට අතර එක් පන්දුවාර 20යි 20 තරගයක් වර්ෂ 2016දී පවත්වා ඇති අතර එය ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට නැමීබියාව හමුවේ ලකුණු 55ක අනපේක්ෂිත පරාජයක් අත්විය.

ඒ හේතුවෙන් හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මත තරගයක් වේ.

ශ්‍රී ලංකාව මේ වනවිට A කාණ්ඩයේ සිව්වන ස්ථානයේ පසුවේ.

පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.