තවත් හෝරා කිහිපයකින් ඇරඹෙන T20 ලෝක කුසලානය

T20 ලෝක කුසලානය අරඹමින් නැමීබියාව සමග ශ්‍රී ලංකාව හෙට තරග බිමට..

by Hashini De Mel 15-10-2022 | 10:09 PM

COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ ලෝක ශූරයින් තීරණය කරන 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී හෙට (16) ආරම්භ නියමිතය. 

තරගාවලියේ පළමු තරගයට එක් වන්නේ වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ නැමීබියා කණ්ඩායමයි.

ප්‍රවේගකාරී තරඟ  විලාසයත් ,පන්දුවෙන් පන්දුව ගැටෙන උද්වේගයත් , වැඩි ප්‍රේක්ෂක ආරක්ෂණයත් මුල් කරගමින් පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය 2007 වසරේ ආරම්භ වන්නේ එතෙක් පැවති එක්දික තරඟ රටාව මුළුමනින්ම වෙනස් කරමිනි.

2007 වසරේ සිට මේ දක්වා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන 07 ක් පවත්වා ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වන්නේ 2012 සහ 2016 ලෝක ශුරයින් බවට පත් වෙමිනි.

ශ්‍රී ලංකාව 2009 සහ  2012 වසරේදී තරගාවලියේ අනුශූරයින් බවට පත් වන්නේ, මෙරට  ක්‍රීඩා ලෝලීන්ගේ ලෝක කුසලාන තරඟ ජයග්‍රහණ පිපාසය තව තවත් තීව්‍රකර දෙමිනි.

කෙසේ වෙතත් බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් 2014 වසරේදී පැවැති පන්දුවාර 20යි20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනාගන්නේ ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින්ට එහි අනුශූරතාවය වෙන් කර දෙමින්.

1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් අනතුරුව පළමුවරට ක්‍රිකට් ලෝක කිරුළක් මෙරටට දිනා දුන් කණ්ඩායම ලෙස, ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්  වාර්තා අතරට එක් වූයේ  එතෙක් පැවති ලෝක කුසලාන සිහින නියඟය නිම කරමිනි.

2016 සහ 2021 වසරවලදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් 20යි 20 ලෝක කුසලානය ශූරයින් බවට  පත් විය.

පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය හෙට (16)  ඔස්ට්‍රේලියාවේදී  ආරම්භ වන්නේ එහි 08 වන ශූරයින් කවුරුන් ද?  යන්න පිළිබඳව ලෝක ක්‍රීකට් ලෝලීන් තුළ උන්මාදයක් ඇති කරමින් ය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, එංගලන්තය, සහ ඔස්ට්‍රේලියාව එක් අවස්ථාවක දී ශූරතාවය ජයග්‍රහණය කර තිබේ.

මෙවර තරගාවලිය සඳහා රටවල් 16 ක් තරග වදින අතර ජාත්‍යන්තර 20යි 20 තරග ආකෘතියේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා සිටින කණ්ඩායම් 12 නිතරගයෙන් තරගාවලියට එක් වේ.

අනෙක් කණ්ඩායම් 2 තෝරා ගනු ලබන්නේ සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී  ප්‍රදර්ශනය කරන දක්ෂතා අනුවයි.

ඔස්ට්‍රේලියාවේ වේගවත් තණතීරුවලදී 2022  20 යි 20 ලෝක ශූරයින් තීරණය වනු ඇත.

හෙට ආරම්භ වන සුදුසුකම් ලැබීමේ වටයට එක් වන්නේ, ශ්‍රී ලංකාව, නැමීබියාව, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් ය.

තරඟාවලිය ආරම්භ කරමින් ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව සහ නැමීබියාව හෙට තරග බිමට පිවිසෙන්නේ කාර්ඩිනියා පාර්ක් හී ජිලෝන්ග් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

එම ක්‍රීඩාංගණයේ පවත්වා ඇත්තේ එක් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරඟයක් පමණක් වන අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ ඔස්ට්‍රේලියාව පරාජය විය.

මැද පෙරදිග සත්කාරකත්වයෙන් පැවැති 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේදී නැමීබියාව සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජය ගැනීමට සමත් විය.

ශ්‍රී  ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරඟවටයේදී එක්සත් අරාබි එමීර් සහ නෙදර්ලන්ත කණ්ඩායම්වලට එරෙහිව ද තරඟ කිරීමට නියමිත වේ.

ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්, ගැබා, ජීලොන්ග්, හෝබාට්, මෙල්බන් , පර්ත් සහ සිඩ්නි යන ක්‍රීඩාංගණ හෙට සිට 2022 පන්දුවාර 20යි 20 ක්‍රිකට් උන්මාදයෙන් සහ උණුසුමෙන් වැසි යනු ඇති.

තරගාවලියේ දේශිය තරග විකාශන අයිතිය හිමි සිරස ටී.වී ඔස්සේ සජීවීව 
තරගාවලියේ සියලු තරග තොරතුරු  ඔබ වෙත ගෙන ඒමට ස්පෝර්ට්ස් ෆස්ට් සූදානම්.