.webp)
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අද (14) සිට සති 10 ක් යනතුරු කටයුතු කිරීමෙන් වළකින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේ ය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (14) දින පෙනී සිටින්නැයි දන්වා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිකුත් කළ සිතාසි නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා ඔහු ඉදිරිපත් කළ රීට් ආඥා පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, රිට් පෙත්සම සම්බන්ධයෙන් විවාදය දෙසැම්බර් මස 06 වැනිදා ආරම්භ කිරීමටයි.
එමෙන්ම නොවැම්බර් 30 වැනිදා ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කරන ලෙසට ද විනිසුරුවරුන් නියෝග කළේ ය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටි සිතාසි නියෝගය බල රහිත කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අද දින සිදුවූයේ නැහැ.