ඉදිරි පැය 48 තුළ පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය 48 තුළ පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 14-10-2022 | 9:59 PM

COLOMBO (News 1st) - ඉදිරි පැය 48 තුළ කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟ දෙපස පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.

ඊට අමතරව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න දෙපස පහත්බිම්වල ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අධික වැසි ලැබෙමින් පවතින බැවින් ජල බස්නා මාර්ග අවහිර වීමෙන් ඇතැම් ස්ථානවල ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ දෙපස පහත්බිම්වල ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි අදාළ ගංඟා නිම්න ආශ්‍රිත ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

කුකුලේ ගඟ සහ පොල්ගොල්ල ජලාශවල ද වාන් දොරටු විවෘත කෙරිණි.