.webp)
COLOMBO (News 1st) - පාස්කු නඩුවක සැකකරුවකු ලෙස නම් කරමින්, කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමාව ලබන 14 වැනිදා අධිකරණයට කැඳවමින් නිකුත් කළ නොතීසි නියෝගය, බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති රීට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ලබන 14 වැනිදා පෙරවරු 9.30 ට නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද (12) තීරණය කළේ ය.
සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොළ යන විනිසරුමඩුල්ල එම නියෝගය නිකුත් කළේ, ඉදිරිපත් කළ පෙත්සම අද පස්වරුවේ සලකා බැලීමෙන් අනතුරුවයි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ, ෆයිස් මුස්තාපා, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම පැමිණිල්ල ගොනුකළ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ඇතුළු පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ, රියන්සි අර්සකුලරත්න මහතා මෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර් ජනරාල්, රෝහාන්ත අබේසුරිය මහතාද එහිදී දිර්ඝ ලෙස අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ ය.