ඒරෝෆ්ලොට් අද සිට යළි ගුවන් ගමන් අරඹයි..

රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවය අද සිට යළි ගුවන් ගමන් අරඹයි..

by Staff writer 09-10-2022 | 7:58 AM

COLOMBO (News 1st) - මාස පහකට පමණ පසුව රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවය අද(09) සිට යළි මෙරට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මේ අනුව ඉදිරියේදී  සැම සතියකටම දින දෙකක් ගුවන් සේවය මෙරට ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇති.

අධිකරණ නියෝගක් අනුව රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් රඳවා ගැනීමට මෙරට බලධාරීන් පියවර ගැනීමට විරෝධය පල කරමින් පසුගිය ජුනි මාසයේ සිට මෙරට සහ මොස්කව් අතර ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවේ ය.

රුසියානු "ඒරෝෆ්ලොට්" ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය  වාරණ නියෝගයක් නිකුත් කළේ පසුගිය ජුනි 02 වැනිදායි.

ඒ අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රි ලංකා බලධාරීන් විසින් එරොෆ්ලොට් ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ ශ්‍රි ලංකා තානාපතිනිය රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා සිය අප්‍රසාදය පළ කර තිබුණා.