ජිනීවා යෝජනාව ගැන ඇමති විජයදාස කතා කරයි

රටක් ලෙස වරින් වර ස්ථාවරයන් වෙනස් කිරීම ජිනීවා යෝජනාව සම්මත වීමට හේතුවයි - ඇමති විජයදාස

by Sagarika Chathumali 07-10-2022 | 9:23 AM

COLOMBO (News 1st) - රටක් ලෙස වරින් වර ගත් ස්ථාවරයන් වෙනස් කිරීම හා නායකයින් පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්ම්ත වීමට හේතු වූ බව අධිකරණ හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
.
ඔහු නිව්ස්ෆස්ට් වෙත මේ අදහස් පළ කළේ, යෝජනාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කළ විමසීමේදීය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, විදේශ අමාත්‍යාංශය සමග එක්ව මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කඩිනමින් ඇති කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ජාත්‍යන්තරය සමග මනාඅවබෝධයකින් කටයුතු කරන බවය.

ඊයේ (06) සම්මත වූ යෝජනාව හේතුවෙන් රට බරපතල තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදීමට යෝජිත ණය මුදල හා ජී.එස්.පී. ප්ලස් සහනයට ද බලපෑම් එල්ල විය හැකි බවයි.

කරුණු 19 කින් සමන්විතවූ අදාළ යෝජනාවේ කරුණු 9 ක සඳහන්ව තිබුනේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ කරුණුයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව වගවීමේ ක්‍රියාවළියේදී සාක්ෂි රැස්කිරීම සඳහා භාහිර යාන්ත්‍රණයක් සකස්කිරීමටද අද (07) සම්මතවූ යෝජනාවෙන් අවස්ථාව හිමිවේ.

කෙසේවෙතත් යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා  මානව හිමකම් කවුන්සිලයට දැනුම් දුන්නේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ ඉදිරිපත්වූ යෝජනාවේදී , රටවල් 20 ක් ඊට සහය දුන් අතර රටවල් 7 ක් විරුද්ධ විය.

තවත් රටවල් 20 ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.