විපතට පත්වූවන් හමුවීමට තායිලන්ත රජු සැරසෙයි

තායිලන්ත වෙඩි ප්‍රහාරයෙන් විපතට පත්වුවන් හමුවීමට රජු සහ රැජිණිගේ සූදානමක්..

by Staff writer 07-10-2022 | 9:18 AM

COLOMBO (News 1st) - තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට එල්ල වූ  වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ අවමංගල්‍ය වියදම් එරට රජය දැරීමට තීරණය කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ද, රජය තීරණය කර ඇති බවයි.

මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට, එරට මහා වජිරලොංකෝන් රජු සහ සුතිඩා රැජිණ ද එහි පැමිණීමට ද, නියමිතය.

මේ අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථානයට එල්ලවූ  ප්‍රහාරය ලෝක නායකයින් ද, දැඩි ලෙස හෙළා දැක තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ, "බිහිසුණු සමූහ වෙඩි තැබීමෙන් කම්පනයට සහ කණගාටුවට පත් වූ" බවය.

"විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන" ඔහු පැවසූ  බව, මහලේකම්වරයාගේ ප්‍රකාශකවරයා සඳහන් කළ බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට හිටපු පොලිස් නිලධාරියෙකු ඊයේ (06) මෙම වෙඩි තැඹීම සිදුකළ අතර වෙඩි තැබීමෙන් 37 දෙනෙකු මරණයට පත් විය.