ජනතාව අතරට ගිය ගම්මැද්ද ගෙයින් ගෙට 06වැනි අදියර..

යාපනය , මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඇරඹි ගම්මැද්ද ගෙයින් ගෙට 06වැනි අදියර..

by Staff writer 05-10-2022 | 8:55 PM

COLOMBO (News 1st) –  රටේ ක්ෂේත්‍ර ගණනාවක ගැටලු මතුව ඇති පසුබිමක් තුළ රට නගන ජන පවුර ගම්මැද්ද මේ රටේ ගම් නියම්ගම්වල ජීවත්වන ජනතාව සොයා ගියේ ය.

ඒ ගම්මැද්ද ගෙයින් ගෙට, මහජන සේවා ක්‍රියාන්විතයේ 06 වැනි අදියර අරඹමින් ය.

ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය අද(05) ආරම්භ කෙරුණේ යාපනය, මාතලේ හා කළුතර යන දිස්ත්‍රික්කවලින් ය.

මෙරට ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විද්‍යාත්මකව දත්ත රැස්කොට, විශ්ලේෂණය කරමින් විසඳුම් යෝජනා කිරීම ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේදී සිදුවෙයි. 

මෙවරත් ඒ සඳහා ගම්මැද්ද සමගින් අත්වැල් බැඳගෙන සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. 

කොවිඩ් ව්‍යාප්තියත්, ආර්ථික අර්බුදයත් හමුවේ රටේ ජනතාව මුහුණ දී ඇති සැබෑ තත්ත්වය හඳුනා ගැනීම මෙවර සමීක්ෂණයේ ප්‍රමුඛ අරමුණකි.
 
මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානවල ජනතාවගේ ජීවන තත්ත්වය ගැන අද ගම්මැද්ද එක් කණ්ඩායමක් විමසා බැලුවේ ය.

ගම්මැද්ද යාපනය දිස්ත්‍රික්කයට ගිය ගම්මැද්ද කණ්ඩායම අද , සන්ඩිලිප්පායි, උයරප්පුලම්, ඉලවාලෙයි, සිල්ලාලෙයි , චුලිපුරම් ඇතුළු ප්‍රදේශවල සංචාරය කළේ ය. 

බොහෝ ගම්මානව තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වුනේ , ඉන්ධන නොමැතිකමින්, ගොවිතැන් බතක් කරගන්නට නොහැකි වීමයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙකුට කූලි වැඩක් පවා සොයා ගැනීම අසීරු කටයුත්තක් වෙලා. 

බීමට පිරිසිදු වතුර බිඳක් සොයා ගැනීම ද මේ ජනතාව මුහුණ දී ඇති තවත් ගැටලුවකි.

මේ නිසාම මෙම ප්‍රදේශය තුළ වකුගඩු රෝගය ද සීඝ්‍රයෙන් ව්‍යාප්ති වී තිබේ.  

ගම්මැද්ද තවත් කණ්ඩායමක් අද කළුතර දිස්ත්‍රික්කයේ සංචාරය කළේ ය. 

එහිදි ඔවුන් මිල්ලනිය, උඩුවර, මුවපට්ටිය ඇතුළු ගම්මාන රැසක ජන ගැටලු සොයා බැලුවේ ය.

මුවපට්ටිය ගම්වාසීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වු‌ණේ විදිමත් මාර්ග පහසුකම් නොමැතිකමයි.

පුංචි බොක්කුවක් හදාගන්න තිබුණා නම් කිලෝ මීටරයකින් යන ගමන අද ඔවුන්ට යන්න වෙලා තියෙන්නේ , කිලෝමීටර් 9 ක රවුමකින් ය.

මේ නිසා පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශවාසීන්‍ දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටී. 

ගම්වාසීන් - 

බෝක්කුව හදලා දුන්නා නම් කිලෝමීටරයක් විතර යන්න තියෙන්නේ. ඕකේ බයිසිකල් කීපයක් වැටිලා තුවාල වෙලා තියෙනවා. ඔන්න ඕය බොක්කුව තමයි ලොකුම ප්‍රශ්නේ. 

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම ප්‍රදේශවල ජනතාව මුහුණ දී ඇත්තේ දැඩි පීඩාවටකටයි.

හෙට දිනයේත් යාපනය , මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවල අප කණ්ඩායම් ඔබ සොයා පැමිණෙනු ඇති.