ජපාන බලධාරීන්ගෙන් එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

වසර 05කට පසු උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කරයි

by Staff writer 04-10-2022 | 7:34 AM

News 1st - උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ.

ඒ, වසර 5 කට පමණ පසු වීම විශේෂත්වයකි.

අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති අතර මේ හේතුවෙන් උතුරු ජපානයේ දුම්රිය මෙහෙයුම් ද තාවකාලිකව අත්හිටුවා ඇත.

මේ පිළිබඳව වාර්තා කළේ, දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සහ ජපාන වෙරළාරක්ෂක බලකාය විසිනි.

එම වාර්තාවලට අනුව උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඉහළින් මෙම අත්හදා බැලීමේ මිසයිලය දියත් කර ඇතැයි සඳහන් ය.

මිසයිලය පැසිෆික් සාගරයට පතිත වීමට පෙර තම භූමිය හරහා පියාසර කරන බැවින් ආවරණය වී සිටින්නැයි ජපාන බලධාරීන් එරට පුරවැසියන්ට අනතුරු ඇඟවිය.

ජපානය අවධාරණය කළේ, 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් පියාසර කළ පළමු මිසයිලය වන මෙය විනාශ කිරීමට කිසිදු ආරක්ෂක උපක්‍රමයක් භාවිත නොකළ බවයි.