ආයෝජන මණ්ඩලය මුදල් කාරක සභාව හමුවට

නිසි විශ්ලේෂණයක් ලබාදීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට

by Staff writer 04-10-2022 | 7:00 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට අද (04) කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයන්ට සිය අනුමැතිය හිමි නොවන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඊයේ දැනුම් දුන් බවයි.

ඒ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙනි.

මෙරට ආයෝජනය සිදු කරන සමාගමකට වසර 12ක බදු සහන ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා, ආයෝජන මණ්ඩලයෙන් විමසා ඇත.

එහිදී ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබා දීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් සිය බලවත් අප්‍රසාදය පළ කළ කමිටු සභාපතිවරයා මේ මොහොතේ ඊට අනුමැතිය ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළේ ය.

මේ අනුව අද පෙරවරු 9.00 වන විට සියලු දත්ත සහ විශ්ලේෂණ සහිතව කමිටුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැනුම් දී තිබේ.

එසේ පැමිණීමට නොහැකි නම් අදාළ ගැසට් පත්‍රයට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි නොවන බව ද දැනුම් දී ඇත.

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයන් අද (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.