ආර්ථික අර්බුදය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන

මෙරට ආර්ථික අර්බුදයක් ඇති වීමට හේතු සොයා මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

by Staff writer 02-10-2022 | 7:52 AM

COLOMBO (News 1st) - මෙරට ආර්ථික අර්බුදයක් ඇතිවීමට හේතු සොයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එම කොමිසම සඳහන් කළේ, විවිධ දේශපාලනික හේතූන් මත ජාතික ප්‍රතිපත්ති වරින්වර වෙනස් වීම හරහා මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම පිළිබඳව එහිදී දැඩි අවදානයක් යොමුකරන බවය.

වගකිව යුතු බලධාරීන් ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු තීරණ ගැනීමේදී, වගකීම් විරහිතව ක්‍රියාකර ඇති ආකාරය අමාත්‍යංශ,විෂය පථයෙන් වෙන් කිරීමේදී ජාතික අවශ්‍යතාව පසෙකලා කටයුතු කිරීම ඇතුලු කරුණු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම පිිළිබඳව ද මෙම විමර්ශනයේදී අවධානයට යොමු කිරීමට නියමිතව ඇත.

එහිදී මෙරට ආර්ථිකයට සෘජුවම සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යංශය, ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශවල දැනට කටයුතු කරමින් සිටින සහ මීට පෙර කටයුතු කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපේක්ෂා කරන බව ද, කොමිසම සඳහන් කළේ ය.

ඒ සඳහා ආර්ථික විශේෂඥයින් කිහිපදෙනෙකුගේ සහාය ද ලබාගනු ඇති.

ආර්ථිකය බිඳ වැටීම හරහා රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතීන් උල්ලංඝණය වීම යන කරුණ මත පදනම්ව මෙම විමර්ශනය සිදුකරන බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගියදා පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කළ වාර්තාවෙන් ද ශ්‍රී ලංකාවේ සිදුවූ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබුණි.

එම වාර්තාවෙන් ඇය පෙන්වා දුන්නේ සියලු ප්‍රජාවන්ගේ මානව හිමිකම්වලට බලපෑමක් වී ඇති ආර්ථික අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නම් මෙරට මුල් බැස ඇති දූෂණය කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි.

අතීතයේ සහ මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ ආර්ථික සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද ඇය සිය වාර්තාවෙන් අවධාරණය කළා ය.