බස් ගාස්තුවේ අඩුවක් නෑ – බස් සංගම්: පෙට්‍රල් මිල අඩු වුණත් ආහාර මිල ගණන්වල අඩුවක් නැහැ – ආපන ශාලා හිමියන්ගේ සංගමය

බස් ගාස්තුවේ අඩුවක් නෑ – බස් සංගම්: පෙට්‍රල් මිල අඩු වුණත් ආහාර මිල ගණන්වල අඩුවක් නැහැ – ආපන ශාලා හිමියන්ගේ සංගමය

බස් ගාස්තුවේ අඩුවක් නෑ – බස් සංගම්: පෙට්‍රල් මිල අඩු වුණත් ආහාර මිල ගණන්වල අඩුවක් නැහැ – ආපන ශාලා හිමියන්ගේ සංගමය

කර්තෘ Staff writer

02 Oct, 2022 | 8:26 am

COLOMBO (News 1st) – ඩිසල් මිල ගණන්වල කිසිදු අඩුවක් සිදුවී නොමැති බැවින් මෙම අවස්ථාවේ කිසිදු ආකාරයකින් බස් ගාස්තු අඩු කිරීමක් නොකරන බව බස් සංගම් පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ සභාපති, අංජන ප්‍රියන්ජිත් මහතා ද සඳහන් කළේ, ඩීසල් මිල අඩු නොවු පසුබිමක කිසිදු ආකාරයක බස් ගාස්තු අඩුවීමක් සිදු නොකරන බවයි.

මේ අතර පෙට්‍රල් මිල පහළ දැමූවත්, ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු අඩුවීමක් නොවන බව ත්‍රිරෝද රථ වෘත්තිය සමිති පවසයි.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ, රජය මගී ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලබානොදෙන බවය.

මේ අතර පෙට්‍රල් මිල අඩු වූවත් ආපන ශාලාවල ආහාර මිල ගණන්වල අඩුවක් නොවන බව, ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, වෙළෙඳපොළේ අනෙකුත් සේවා  මිල ගණන් අඩු වන්නේ නම් පමණක් කිරි තේ ඇතුළු ආහාර පාන මිල ගණන් අඩු කළ හැකි බවයි.  

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටෙන් 92 පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 40 කින් පහත දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 410 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 30 කින් පහත දැමීමට කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 510 ක්වේ .
 
කෙසේ වෙතත් ඔටෝ ඩිසල්, සුපර් ඩිසල් සහ භුමිතෙල්වල මිල ගණන් කිසිදු ආකාරයකින් සංශෝධනයට ලක් වී නැත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩුකළ මිල ගණන්වලින්ම පෙට්‍රල් මිල පහත හෙලීමට පියවර ගන්නා බව ලංකා අයි.ඕ.සී. සමාගම සඳහන් කළේ ය.

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ලබා ගන්නා ලදී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]