ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි..

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි..

by Staff writer 01-10-2022 | 6:51 AM

COLOMBO (News 1st) – ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.

“සිහින දකින අපේ ලොවක්” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාව වේ.

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සළකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය සමරනු ලබයි. 

එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි. 

වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා ය.

1955 ඔක්තෝම්බර් මස පළමු වැනිදා ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවේ ය.

පෙර නොවූ විරූ පරිදි මෙරට ළමා ප්‍රජාව මේ වන විට ගැටලු රැසකට මුහුණදී සිටී. 

ඒ අතරින් ප්‍රමුඛ වන්නේ, සමබර ආහාර වේලක් ලබාගැනීමේ ගැටලුවයි.

අවස්ථා ගණනාවකදි ජාත්‍යන්තර ළමා අරමුදල මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමුකරමින් පැවසුවේ කුසගින්නේ සිටින ළමුන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බවි.

මීට අමතරව සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට පත්වීම, පාසල තුළ ළමුන් කෘරත්වයට පත්වීම වැඩි ප්‍රවණතා මේ වනවිට මෙරට ළමුන් කෙරෙහි අහිතකර අන්දමින් බලපා තිබේ. 

මෙවැනි අභියෝග හමුවේ මෙරට ළමා පරපුර රැකගැනීමට සමස්ත සමාජයටම ඇත්තේ, දැඩි වගකීමකි.

මේ අතර 'වෙනස් වන ලෝකයට ශක්තිමත් වැඩිහිටියෙක්' යන්න මෙවර⁣ ලෝක වැඩිහිටි දිනයේ තේමාව වේ.
 
දියුණු රටවල වයස අවුරුදු 65ට වැඩි ජනගහනය වැඩිහිටි ජනගහණය ලෙසත් සැලකෙන අතර දියුණු වෙමින් පවතින රටවල වැඩිහිටි ජනගහණය ලෙස සැලකෙන්නේ, අවුරුදු 60ට වැඩි පිරිසයි.

මේ අතර, වැඩිහිටි දිනය වෙනුවෙන් අද දිනයේ වැඩසටහන් රැසක් සංවිධානය කර ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.

මෙරට මුහුණපාන ප්‍රබල සමාජ ගැටලු අතර වැඩිහිටි ජනගහනය ඉහළ යාමද අවධානයට ලක් කළ යුත්තකි.

ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා පැවසුවේ, මෙරට වැඩිහිටියන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වැඩිහිටි නිවාස 300 කට අධික සංඛ්‍යාවක දිවි ගෙවන බවය.