මෙරට උද්ධමනය තවත් ඉහළට..

සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළට

by Staff writer 30-09-2022 | 5:30 PM

COLOMBO (News 1st) –  සැප්තැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

උද්ධමනය පිළිබඳ නවතම දත්ත ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කළේ ය.

කොළඹ පරිභෝගික මිල දර්ශකයට අනුව කරන ගණනය කිරීමේදී  පසුගිය අගොස්තු මාසයේ මෙරට අහාර මිල ගණනවල වැඩිවීම දැක්වුණේ   93.7% ක් ලෙසයි.

මේ මාසයේ එය 94.9% ක් දක්වා ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ මස්, මාළු, කරවල , එළවලු, අල හා ,ළූණු ඇතුළු අහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යාම බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල මෙම මාසය තුළ 57.6 % ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

ඒ සඳහා ප්‍රවාහන , ජලය, විදුලිය, ගෙවල් කුලී මෙන්ම භූමිතෙල් මිල ගණන් ඉහළ යාම ද ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. 

මේ අනුව සැප්තැම්බර් මාසයේ සමස්ත බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය 69.8% කි.