කැලණිතිස්සේ විදුලි ජනන යළි ඇරඹේ

කැලණිතිස්සේ විදුලි ජනන යළි ඇරඹේ

by Staff writer 30-09-2022 | 6:18 AM

COLOMBO (News 1st) - කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ විදුලි ජනන කටයුතු යළි ආරම්භ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් තොග ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් බවය.

නොරොච්චෝලේ බලාගාරයේ කාර්මික දෝෂයකට ලක් වූ ජනන යන්ත්‍රයේ අලුත්වැඩියාව මේ වනවිට ආරම්භ කර ඇති අතර එය ලබන සඳුදා යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

මේ අතර කෙරවලපිටිය යුග දනවි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු යළි ආරම්භ කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඒ සඳහා අවශ්‍ය දැවි තෙල් තොග ලබාදුන් බවයි.

ඒ අනුව මෙගාවොට් 300 ක් දෛනිකව එමගින් ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති.

නොරොච්චෝලේ කාර්මික දෝෂයකට ලක් වූ ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා අවසන් වන තෙක් විදුලි කප්පාදු කාලය වැඩි නොකොට පවත්වාගෙන යාමට මෙමගින් හැකියාව ලැබෙන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර අදත් දිවයින පුරා කලාප වශයෙන් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කිරීමට නියමිතයි.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.