මැයි 9 සිදුවීම්: වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

මැයි 9 සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර

by Staff writer 27-09-2022 | 6:14 AM

COLOMBO (News 1st) - මැයි 9 වැනි දා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පිළිබඳව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 

ඔහු ඒ බව පැවසුවේ, නව සභාවාරයට අදාළව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට එක් වෙමිනි.

මැයි 9 වැනි දා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනි දා ජනාධිපතිවරයාට භාර දුන් බව රාජ්‍ය අමත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක යන මහත්වරුන්ගෙන් සමන්විත එම කමිටුවේ වාර්තාව අනුව ආරක්ෂක අංශවල ද යම් අඩුලුහුඩුකම් සිදුවී ඇත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධව පියවර ගන්නා බවයි. 

ආරක්ෂක ලේකම් ‍විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ද මේ සාකච්ඡාවට එක්ව සිටි අතර ඔහු පැවසුවේ, මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන්ට සහ අනුබල දුන් අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.