විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම: පොලිස් වාර්තාව අද

සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද...

by Staff writer 26-09-2022 | 7:34 AM

COLOMBO (News 1st) – කොළඹදී පැවති විරෝධතාව අතරතුරදී සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද(26) දිනයේ ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. 

එම කොමිසම සඳහන් කළේ, අද පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි.

පොලිස් ස්ථාන වෙත ගොස් අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කළ බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය. 

මේ අතර, සමාජවාදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 82 දෙනෙකු ඊයේ පස්වරුවේ ඇප මත මුදා හැරිණ.

පොලිසිය පැවසුවේ, 79 දෙනෙකු පොලිස් ඇප මත හා, එරංග ගුණසේකර මහතා ඇතුළු තිදෙනෙකු ශරීර ඇප මතත් මුදා හැරි බවයි.

භික්ෂුන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර , අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව ද අද දිනයේ සාකච්ජා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. 

අධිආරක්ෂිත කලාප රැසක් නම් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ පෙරේදා දිනයේදී ය.