ජනපති හෙට නිල සංචාරයක් අරඹයි..

ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයකට හෙට දිවයිනෙන් පිටත්ව යයි..

by Staff writer 25-09-2022 | 8:33 PM

COLOMBO (News 1st) – ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට(26) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, එම දෙදින ජපාන නිල සංචාරයේදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගීවන බවය.

ඉන් අනතුරුව වත්මන් ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම එරට මුදල් අමාත්‍යවරයා සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත ය.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමාකර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න, තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේවීර සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම සංචාරයට එක්වන අතර ජනාධිපතිවරයාගේ පිලිපීන නිල සංචාරයට මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද එක්වීමට නියමිතය. 

එමෙන්ම පිලිපීන නිල සංචාරය සඳහා දිනුක් කොළඹගේ සහ රන්දුල අබේවීර යන මහත්වරුන් සහභාගී නොවනු ඇති.